ඒ 9 මාර්ගයට මුහුණලා
උතුරු වසන්තය සහ නැගෙනහිර නවෝදය ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලට මෙරට පෞද්ගලික අංශයේ දායකත්වය තවදුරටත් ලබාදෙමින් දෙස් විදෙස් කීර්තියට පත් ප්‍රමුඛතම මෝටර් රථ වාහන සහ බර වාහන වෙළෙඳුන් සහ අමතර කොටස් වෙළෙඳ ආයතනයක නවතම ශාඛාව ඊයේ එම දෙපළාතට කේන්ද්‍රව පිහිටි ගල්කුලම නගරයේ දී විවෘත විය.
ඒ 9 මාර්ගයට මුහුණලා විවෘත වූ මෙම දැවැන්ත මෝටර් රථ වාහන අලෙවිසල එකී ආයතනයේ අටවන ශාඛාව වන අතර, ජපානයේ සහ දකුණු අප්‍රියාවේ ද එම ආයතනය සතු ශාඛා කීපයක්ම වේ.
සබරගමු මහ ඇමති මහීපාල හේරත්, උතුරු මැද මහ ඇමති එස්.එම්.රංජිත් සමරකෝන් සහ ගොවිජන සේවා සහ වනජීවී අමාත්‍ය, එස්.එම්.චන්ද්‍රසේන යන මහත්වරු අතින් මෙම වෙළෙඳ මධ්‍යස්ථානය විවෘත වූ අතර, එම ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂක චුලනී වීරසේකර මහතා ඇතුළු ආයතනයේ අධ්‍යක්වරු ද එම අවස්ථාවට සහභාගී වූහ.
මෙහි දී අදහස් දැක් වූ සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතා සඳහන් කළේ, මෙයට වසර 58කට පෙර සබරගමුව පළාතේ ඉතා සුළුවෙන් ආරම්භ වූ මෙම මෝටර් රථ අමතර කොටස් ආයතනය මේ වන විට මෙරට පමණක් නොව, දකුණු අප්‍රිකාව සහ ජපානයේ ද ශාඛා සහිත දැවැන්ත ආයතනයක් බවට පත්ව තිබීම සබරගමු වාසියෙකු වශයෙන් තමන්ට ඉමහත් සතුටක් බවය. වත්මන් රජය උතුර නැගෙනහිර මුදා ගැනීමෙන් පසු එම දෙපළාතේ සිදු කරන දැවැන්ත සංවර්ධනයට පෞද්ගලික අංශයේ ද දායක කර ගැනීමේ වැඩ පිළිවෙලට මෙවන් ආයතනයක් සම්බන්ධ වීම ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් තම ඉමහත් සතුටට හේතුවන්නක් බව ද මහ ඇමතිවරයා කීය.
උතුරු මැද මහ ඇමති එස්.එම්.රංජිත් සමරකෝන් මහතා මෙහි දී සඳහන් කළේ, උතුරු නැගෙනහිර පමණක් නොව උතුරු මැද පළාතේ ද වත්මන් රජය යටතේ ඉතිහාසයේ පෙර නොවූ විරූ දැවැන්ත සංවර්ධනයක් සිදුවෙමින් පවතින බවය. එම පළාත්වල ආර්ථික සංවර්ධනයට සමගාමීව මෝටර් රථ වාහන, බර යන්ත්‍ර සූත්‍ර සදහා ද විශාල ඉල්ලුමක් පවතින බව කී මහ ඇමතිවරයා, එම අවශ්‍යතා සම්පුර්ණ කර ගැනීම සදහා ශ්‍රී ලාංකික ආයතනයක් උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාතට කේන්ද්‍ර වූ ගල්කුලමේ පිහිටුවීම අතිශය කාලෝචිත කටයුත්තක් බවය.
- සුනිල් ලීලානන්ද පෙරේරා