බංග්ලාදේශය අවසාන තරගයට තේරෙයි
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා-බංග්ලාදේශ මූලික වටයේ අවසාන තරගයේදී ඉතාමත් තියුණු තරගයකින් පසුව, තරගය නිමවීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 2කින් ජයගත් බංග්ලාදේශය අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීය.
ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු 07ක ට ලබාගත් ලකුණු 159ට පිළිතුරු ලෙස බංග්ලාදේශය ඕවර 19.5ක දී කඩුලු 08ක ට ලකුණු 160ක් ලබමින් මේ ජයග්‍රහණය අත්කර ගත්තේය.
තරගයෙන් ජය ලැබීමට බංග්ලාදේශයට අවසාන ඕවර දෙකේදී ලකුණු 23ක් ද, අවසාන ඕවරයේදී ලකුණු 12ක් ද අවශ්‍ය විය. ඉසුරු උදාන යැවූ අවසාන ඕවරයේ අවසාන පන්දු දෙකේදී ලකුණු 06ක් අවශ්‍ය වූ අතර, මොහමඩ් මහමුදුල්ලා පස්වන පන්දුවට හයේ පහරක් එල්ල කරමින් මෙම ජයග්‍රහණය අත්කර ගත්තේය.
මහමුදුල්ලා පන්දු 18ක දී හතරේ 03ක් හා හයේ 02ක් සමඟ නොදැවී ලකුණු 43ක් ලබාගනිමින් බංග්ලාදේශ ජයග්‍රහණයේ නියමුවා විය. ඊට අමතරව, ටමීම් ඉක්බාල් ලකුණු 50 ක් (පන්දු 42) ද, මුෂ්ෆිකර් රහිම් ලකුණු 28ක් ද ලබාගත්හ. අකිල ධනංජය ලකුණු 37ක ට කඩුලු 02ක් දවාලූවේය.
තරගයේ වීරයා ලෙස තේරුණේ මොහමඩ් මහමුදුල්ලා ය.
බංග්ලාදේශය කාසියේ වාසිය දිනා, මුලින් පන්දුවට පහරදීම ශ්‍රී ලංකා පිලට පැවරූ අතර, එහිදී ශ්‍රී ලංකාව බලවත් අසීරුතාවකට පත්වූයේ ඕවර 20න් ඕවර 8.1ක් ගත වනවිට ප්‍රබල ම පිතිකරුවන් පස්දෙනෙකු ම ලකුණු 41ක ට දැවී යාමෙනි.
මේ තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස් කිරීමට සමත් වූ අංක 3 පිතිකරු, කුසල් ජනිත් පෙරේරා සහ නායක, තිසර පෙරේරා ශ්‍රී ලංකා හයවන කඩුල්ලට ඕවර 10.1ක දී ලකුණු 97ක් රැස් කළේ ඕවරයකට ලකුණු 9.7ක් වන පරිදි පිටිය පුරා හයේ, හතර පහර එල්ල කරමිනි. ශ්‍රී ලංකාව අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යන සෙයක් මුලින් පෙන්නුම් කළත්, එය සම්පූර්ණයෙන් ම වෙනස් කළේ මෙම පිතිකරුවන් දෙදෙනා ය.
මුල් ඕවර 10 නිම වනවිට ශ්‍රී ලංකාව ලකුණු 53ක් පමණක් ලබා සිටියත්, ඊළඟ ඕවර දහයේදී එක් කළ ලකුණු ප්‍රමාණය 106කි. ශ්‍රී ලංකාව ලකුණු 50 ඕවර 9.4ක දී ත්, ලකුණු 100 ඕවර 15.1ක දීත්, ලකුණු 150 ඕවර 19ක දී ත් ලබාගත්හ.
ශ්‍රී ලංකාව ප්‍රබල තත්ත්වයකට ගෙන ආ කුසල් ජනිත් පෙරේරා පන්දු 40ක දී හයේ පහරක් හා හතරේ 07ක් සමඟ ලකුණු 61ක් ද, නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ තිසර පෙරේරා පන්දු 37ක දී හයේ 03ක් හා හතරේ 03ක් සමඟ ලකුණු 58ක් ද රැස් කළහ. කුසල් ජනිත් මෙදින ලකුණු 42 වනවිට 20-20 තරගවලදී ඔහු ලකුණු දහස ඉක්මවීය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු පිතිකරුවන් ලබා ගත්තේ, ධනුෂ්ක ගුණතිලක (04), කුසල් මෙන්ඩිස් (11), උපුල් තරංග (05), දසුන් ශානක (00), ජීවන් මෙන්ඩිස් (03), ඉසුරු උදාන (නොදැවී 07) සහ අකිල ධනංජය (නොදැවී 01) පමණකි.
මුෂ්ටාෆිසුර් රහ්මන් ලකුණු 39ක ට කඩුලු 2ක් ද, ෂකිබ් අල් හසන් ලකුණකට කඩුල්ලක් ද දවාලූහ.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-