විපක්ෂ නායක ධුරය ගැන විමසා එජාප මහලේකම්ට කතානායකගෙන් ලිපියක්
විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය තමන් වෙත දැනුම් දෙන ලෙස පක්ෂ මහලේකම්වරයාට ලිපියක් යොමු කළ බව කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා.
විපක්ෂ නායක ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස ඉල්ලා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 57 දෙනෙකු අත්සන් කළ ලිපියක් කතානායකවරයා වෙත ඊයේ (27) පස්වරුවේ භාර දී තිබෙනවා. එම ලිපියේ පිටපතක් ද පක්ෂ මහලේකම්වරයා වෙත යොමු කළ බවයි කතානායක කාර්යාලය නිවේදනය කරන්නේ. කතානායකවරයා දන්වා ඇත්තේ මන්ත්‍රීවරුන් 57 දෙනාගේ ඉල්ලීම පිළිබදවද අවධානය යොමු කොට එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය තමා වෙත දැනුම් දෙන ලෙසයි.
විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් මත දෙකක් ඉදිරිපත්ව තිබෙනවා. එක් පාර්ශ්වයක් පවසන්නේ විපක්ෂ නායක ධූරයට රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ යුතු බවයි. අනෙක් පාර්ශ්වය ඒ සදහා සජිත් ප්‍රේමදාස මහතා පත් කරන ලෙස ඉල්ලා සිටිනවා. මෙම තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කර අවසන් එකගතාවකට පැමිණ ගන්නා තීරණය තමා වෙත නිල වශයෙන් දැනුම් දෙන ලෙසයි කතානායකවරයා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ. ඉන් පසු පාර්ලිමේන්තු සම්ප්‍රදාය පරිදි මී ළග පාර්ලිමේන්තු දිනයේදී විපක්ෂ නායකවරයා කවුරුන්ද යන්න කතානායකවරයා ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පමණක් විපක්ෂ නායක ධූරය නිල වශයෙන් බලාත්මක වනු ඇති බව ද කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සදහන්.
The post විපක්ෂ නායක ධුරය ගැන විමසා එජාප මහලේකම්ට කතානායකගෙන් ලිපියක් appeared first on ITN News.