ඇමෙරිකාවේ අනාගතය ජෝ බයිඩ්න් අභියස
ඇමෙරිකා ජනාධිපතිවරණ සටන උණුසුම් වෙමින් පවතින මොහොතක ෆොක්ස් නිවුස් නාලිකාව ඉදිරිපත් කරන දත්තවලට අනුව තවත් ප්‍රාන්ත 5 ක ඡන්දය මේ වනවිටත් ගණන් කෙරෙමින් පවතිනවා.
රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අභිබවා ඩිමොක්‍රටික් පක්‍ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩ්න් ඉදිරියෙන් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ වන විට ඩිමොක්ක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩ්න් සමූහ ඡන්ද හෙවත් ඡන්ද විද්‍යාල 264 ක් හිමි කරගනිමින් ඉදිරියෙන් සිටිනවා. රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ලබාගෙන ඇත්තේ ඡන්ද විද්‍යාල 214 ක්. පෙන්සිල්වේනියා, උතුරු කැරොලිනා, ෆ්ලොරීඩා, නෙවාඩා සහ ඇලස්කා යන ප්‍රාන්ත පහේ ඡන්දය ගණනය කිරීම් මේ වන විටත් සිදුවනවා.
ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට නම් ප්‍රාන්ත 50 ක් පදනම් කරගත් ඡන්ද විද්‍යාල 538 න් එක් අපේක්ෂකයෙකු ඡන්ද විද්‍යාල 270 ක බහුතරයක් තමන් සතු කරගත යුතු වනවා. එසේම ඡන්ද විද්‍යාල පදනම් කරගත් ක්‍රමවේදයේදී කැපී පෙනෙන බලපෑමක් සිදුකළ හැකි ප්‍රාන්ත ලෙස සැලකෙන විස්කොන්සින්, වොෂින්ටන්, නිව්ජර්සි, නිව්යෝර්ක් හා ඉලිනොයි යන ප්‍රාන්තවල ජයග්‍රහණය තහවුරු කළේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න්.
ඇමෙරිකාවේ කෝටි 3 කට අධික ජනගහණයක් වෙසෙන කැලිෆෝනියා ප්‍රාන්තය ද හැත්තෑ නව ලක්‍ෂයකට අධික ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගනිමින් ජෝ බයිඩ්න් ඉදිරියෙන් සිටීම විශේෂත්වයක්. එම ප්‍රාන්තයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිව ඇත්තේ තිස්නවලක්‍ෂ අසූහය දහස් දෙසීය හැත්තෑහයක ඡන්ද සංඛ්‍යාවක්. මිලියන ගණනක ඡන්ද ගණන් කිරීම් තවමත් සිදුවෙමින් පවතිනවා. ඒ අතර මැතිවරණ ක්‍රියාවලිය අඩපණ කිරීමට හා නොමග යවන සුළු ට්විටර් පණිවුඩ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නිකුත් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කිරීම බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව තිබෙනවා. විස්කොන්සින් වැනි ට්‍රම්ප් පරාජයට පත්වන බවක් පෙනෙන්නට තිබූ ප්‍රාන්තවල ඡන්දය නැවත ගණන් කරන්නැයි ඔහු ඉල්ලා සිටිය ද හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ වාර්තා ද බිද දමමින් ජෝ බයිඩ්න් එම ප්‍රාන්තයේ ඉහළ ජයග්‍රහණයක් හිමිකරගෙන සිටිනවා.
පොලිස් අත්අඩංගුවේ සිටියදී නිරායුද කළු ජාතිකයෙකුගේ ගෙල සිරකර ඝාතනය කිරීමේ සිද්ධිය වාර්තා වූ මිනසෝටා ප්‍රාන්තයේ ලක්‍ෂ 16 කට වැඩි පිරිසක් ජෝ බයිඩ්න්ට පක්‍ෂව ඡන්දය භාවිත කර තිබෙනවා. ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණයට ආසන්න වී සිටින ජෝ බයිඩ්න් විස්කොන්සින් ප්‍රාන්තයේ තීරණාත්මක ජයග්‍රහණයෙන් පසු නැවතත් ජනතාව ආමන්ත්‍රණය කරමින් කියා සිටියේ ඩිමොක්ක්‍රටික් පක්ෂ රජයක් බිහි කිරීම පිළිබදව තවදුරටත් සැකයක් ඇතිකර ගත යුතු නැති බවයි.
ඡන්ද ගණන් කිරීම දූෂිත බව සදහන් කරමින් ගණන් කිරීම අත්හිටුවන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ නඩු පැවරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කරමින් සිටින බවද වාර්තා වනවා.
මෙවර ජනපතිවරණය ඉතිහාස ගත වන්නේ ගෙවුණු සියවස තුළදී ඇමෙරිකාවේ වැඩිම ප්‍රතිශතයක් ඡන්දය භාවිත කළ ජනාධිපතිවරණය මෙය ලෙස සනිටුහන් කරමින්.
The post ඇමෙරිකාවේ අනාගතය ජෝ බයිඩ්න් අභියස appeared first on ITN News.