වනිඳු හසරංග යළිත් අංක 1 පන්දු යවන්නා වෙයි
ලොව විස්සයි-20 පන්දු යවන්නන් අතර යළිත් අංක එකේ පන්දු යවන්නා බවට පත්වීමට ශ්‍රී ලංකා පිලේ පා දඟ පන්දු යවන වනිඳු හසරංග සමත්ව තිබේ. ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී දක්වන ලද දක්ෂතා හේතුවෙන් එතෙක් කලක් අංක 1 පන්දු යවන්නා බවට පත්ව සිටි ඇෆ්ගනිස්තානයේ රශීඩ් ඛාන් දෙවැනි තැනට ඇද දැමීමට වනිඳු සමත්ව සිටියි.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කඩුලු 15 ක් දවා ගැනීමට හසරංග සමත්වූවේය. 2021 වසරේදීද ලොව අංක 1 විස්සයි-20 පන්දු යවන්නා බවට පත් වූ හසරංග යළිත් පළමු ස්ථානයට පැමිණි දෙවැනි අවස්ථාව ලෙස මෙය සනිටුහන් වේ.
අන්තර්ජාතික ක්‍රීකට් සභාව විසින් සිදුකරන ලද නවතම යාවත්කාලීනයට අනුව හසරංග ප්‍රසාද ලකුණු 704 ක් ලබා සිටින අතර ඔහුට පසුසින් සිටින රශීඩ් ඛාන් ප්‍රසාද ලකුණු 698 ක් ලබා සිටියි. වනිදු අමතරව මහීෂ් තීක්ෂණ 10 වැනි ස්ථානයේ පසුවන්නේය.
ගෙවී ගිය වසර 3 ක කාලය ඇතුළත විස්සයි-20 තරග 52 කට සහභාගිව ඇති දකුණත් පා දඟ පන්දු යවන්නා දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 86 කි. එහි කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 14.48 ක් ලෙස සටහන් වද්දී පන්දුවාරයකට ලබා දී ඇත්තේ 6.67 ක තරම් අවම අගයක පවතියි.
25 වැනි වියේ පසුවන වනිඳු හසරංග ලොව තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර 8 වැනි ස්ථානයේ පසුවන්නේය. මේ අතර ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක දක්ෂතම පිතිකරුවන් අතර 10 වැනි ස්ථානයේ පසුවන්නේය.
The post වනිඳු හසරංග යළිත් අංක 1 පන්දු යවන්නා වෙයි appeared first on Sri Lanka Cricket.